-
පාසලේ ඓතිහාසික පසුබිම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , අඹන්පොල නිකවැරටිය මාර්ගයේ සැතපුම් 04 ක පමණ දුරින් පනාදරගම නම් ගම පිහිටා ඇත. එම ගම මැදින් සැතපුම් භාගයක් වම් පසට ගියවිට බෙරුවාගල හඳුන්ගිරි මගම්පුර රාජමහා විහාරය හමුවන්නේය. පාසල උපන්නේ පංසලේය.
ක්‍රි.ව. 1936 බෙරුවාගල පංසලේ දී පූජ්‍ය ජී.බී. ධම්මපාල හිමියන්ගේ අනුශාසනා පරිදි පාඨශාලා පරීක්ෂක කේ. ජේමිස් පීරිස් මහතා සහ ආර්.එම්. ගුණතිලක මහතා සමඟ කු/ බෙරුවාගල පාසල නමින් විහාරස්ථ ධර්ම ශාලාවේදී ඇරඹිණ. මෙහි ඉගෙනුම ලැබූවෝ කුඹුක්වැව, පහලකුඩාවත්ත, පනාදරගම, තම්මැන්නාව, කළුපෙරුමාව, දෙමටෑව, වඳුරැස්ස, වලලිය, වල්පාලුව ගම්වල සිසූහු වෙති. මුල් ගුරුතුමා තනිවම පාසලේ කටයුතු කළ අතර ආගම ඉගැන්වීම විහාරාධිපතීන් වහන්සේ අතින් සිදු කෙරුණහ.තෙවසරකට පසු ඩබ්. එම්. සුද්ධහාමි හිරිගොල්ල මහතා මුල් ගුරුතුමා විය. ඉන් අනතුරුව නක්කාවත්තේ බණ්ඩා මයා මුල් ගුරුතුමා විය.එවකට ගුරු මණ්ඩලය තිදෙනෙකි. සිසුහු හැටදෙනෙකි. පස්වෙනි පන්තිය දක්වා පැවතින.
මේ කාලයේ ධර්මශාලාව ඉඩ මදි වූ බැවින් විහාරස්ථානයේ සිට වලලිය මාර්ගයේ නිකවැරටිය දෙසට යනවිට වලලිය හංදියේ බක්මීවැව පාරටත් නිකවැරටි පාරටත් මායිම්ව ඉඩමක් පොල්පිතිගම කේ. එම්. රන්බණ්ඩා මහතාට හිමිව තිබුණි. එම ඉඩම විදුහලට පරිත්‍යාග කරන ලදුව දෙමාපියන්ගේ සහයෝගයෙන් පොල් අතු සෙවිලි කර කටුමැටි බිත්ති සහිත ශාලාවක් ඉදිකොට 1947-08-01 දින එම ගොඩනැගිල්ලට ගෙවදින ලදී. ඇඳුරු මඩුල්ල දෙදෙනෙක් වූ අතර සිසුන් 48 දෙනෙක් වූහ.
මේ කාලයේ මුල් ගුරුතුමා ලෙස පත් වී ආවේ ටී. බී. බස්නායක මහතාය.එතුමා රජයේ ආධාර ඇතිව අඩි 110 ×30 ස්ථීර ගොඩනැගිල්ලක් 1954 වර්ෂයේ ආරම්භ කරන ලදී. මේ කාලයේ අ.පො.ස. (සා.පෙ.) මට්ටමේ පන්තිද පැවතින. ඉන් අනතුරුව මුල් ගුරුතුමා වූයේ ඒ. එෆ්. පෙරේරා මහතාය. ඉන් අනතුරුව මුල් ගුරුතුමා වූයේ අයි. එම්. බණ්ඩා මහතාය. එතුමා ටික කාලයක් සේවය කළේය. පසුව මුලු ගුරුතුමා ලෙස පත්ව ආවේ ආර්.අයි. බී. සමරසිංහ මහතාය. මේ කාලයේ භෞතික හා අධ්‍යාපනික සංවර්ධනයක් ඇති විය. අඩි 80× 20 ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී. ගුරු හිඟයට ස්වේච්ජා ගුරුවරුන් බදවා ගත්හ. උසස් පෙළ පන්තිද ආරම්භ විය. මෙතෙක් පාසලේ නම ලෙස පැවති බෙරුවාගල යන නම වෙනුවට වලලිය විදුහල ලෙස වෙනස් කෙරිණි.
ඉන් අනතුරුව පාසල් ප්‍රධානියා වී ආවේ ඩී. එම් . කේ. දිසානායක මහතාය. ඔහුගේ කාලයේ 60ගොඩනැගිල්ලක් ඉදිවිය. ආදි ශිෂ්‍ය සංගමයක්ද ඇති විය. මෙතුමාගෙන් පසු පාසල් ප්‍රධානියා වී ආවේ එච්. එම්. එච්. හේරත් මහතාය. අනතුරුව කෙටි කාලයක් ආර්. අයි.බී. ජයසේන මහතා ප්‍රධානියා ලෙස වැඩ බැලූ අතර අනතුරුව සුගත් අබේගුණසේතර මහතා ප්‍රධානියා ලෙස පත් විය.මේ කාලයේද අධ්‍යාපනික සංවර්ධනයක් ඇති විය. විදුලි බලය ලබා ගැනීමටද මේ කාලයේ හැකි විය.
පාසල් ප්‍රධානියා ලෙස මහත්මියක් පත්ව ආ මුල්ම අවස්ථාව මෙය විය. ඇය එම්. සුජීවා නිල්මිණි කුමාරි මහත්මියයි. එකල ද අධ්‍යාපනික සංවර්ධනයක් තිබුණි. අනතුරුව විද්‍යාලයේ ප්‍රධානියා වන්නේ ඊ.ඩී. සුනිල් ජයසේකර මහතාය. පාසලට පුස්තකාල ගොඩනැගිල්ලක් ලබා ගැනීම, දෙවන ගොඩනැගිල්ලට තවත් වර්ග අඩි 40× 20 පංති කාමර කොටසක් එක් කිරීම, පරිගණක ඒකකය සඳහා පරිගණක යන්ත්‍ර 18 ක් ලබාගෙන පරිගණක තාක්ෂණ විෂය ආරම්භ කිරීම, ප්‍රදේශයේ රණ විරුවන් වෙනුවෙන් ස්මාරකයක් ඉදි කිරීම , මෙම විද්‍යාලයේ නැටුම් හා සංගීත අංශයන් සඳහා අවශ්‍ය සියලු උපකරණ ලබා ගැනීම යන භෞතික සම්පත් මෙම කාලය තුළ පාසලට ලබා ගත හැකි විය.
ඉන් අනතුරුව විදුහල්පති වන්නේ එල්. ජේ. එච්.එම්.එන්. ජයසුන්දර මහතාය.මෙම කාලය තුල පාසලේ ස්ථීර වැටක් සදඟ නව පිවිසුම් ගේට්ටුව ඉදි කිරීම, පුස්තකාලය සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න පොත් ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලබා ගැනීම හා ඒ තාවකාලික කියවීම් ශාලාවක් ඉදි කිරීම, සෙල්ලම් මිදුල සඳහා ස්ථීර කූඩාරමක් ඉදිකිරීම සහ පාසල් පිරියත ක්‍රමානුකූලව සකස් කිරීම යන ආදී සංවර්ධන කටයුතු කෙරෙමින් පවතී.
- පාසලේ ආරම්භක වර්ෂය හා දිනය - 1947-08-01 පොල් අතු ශාලාවට ගෙවදී ඇත.
- ආරම්භක විදුහල්පති - ඩබ්.එම්. සුද්ධහාමි හිරිගොල්ල මහතා
- ආරම්භක සිසුුුන් සංඛ්‍යාව - 48 කි
- ආරම්භක ගුරුවරු සංඛ්‍යාව - 02
- ආරම්භක ගොඩනැගිලි සංඛ්‍යාව - 01
- විදුහල්පති නාමාවලිය - 1 ඩබ්.එම්. සුද්ධහාමි හිරිගොල්ල මහතා
2.නක්කාවත්තේ බණ්ඩා මහතා
3. ටී.බී. බස්නායක මහතා
4.ඒ. එප් පෙරේරා මහතා
5. අයි.ඒම් .බණ්ඩා මහතා
6 ආර් අයි බී. සමරසිංහ මහතා
7 ඩී.එම්. සී. දිසානායක මහතා
8 එච්.එම්. හේරත් මහතා
9 ආර්.අයි.බී. ජයසේන මහතා
10 සුගත් අබේ ගුණසේකර මහතා
11 එම් සුජීවා නිල්මිණි කුමාරි මහත්මිය
12 ඊ. ඩී. සුනිල් ජයසේකර මහතා
13 එල්. ජේ. එච්. එම්. නිමල් ජයසුන්දර මහතා
14 ආර්. ඩී. අරුණශාන්ත මහතා
15 උපාලිසේන මහතා
16 එම්.ඒ.පී.එම්. මංචනායක මහතා












